Sunday, January 1, 2012

ශ්‍රී ලංගම හා පෞද්ගලික විශ්වවිද්‍යාල


මුලින්ම කියන්නම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල.අවුරැද්ද අලුත් වුණාට අපිට ඊළග අලුත් අවුරැද්දත් පටන් ගන්න වෙලා තියෙන පරණ ප්‍රශ්න ටිකක් එක්ක.අපිට කිව්වේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙන එවුන් හැමෝටම මේ ප්‍රශ්නෙ ඇති කියල මම විශ්වාස කරනවා.
මම මෙතනදි කථා කරන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විතරයි.ඒත් ප්‍රශ්න තියෙන්නේ එතන විතරක් නෙවි.පහුගිය කාලය පුරාවටම ආණ්ඩුව,රටේ ජනමාධ්‍ය විශ්ව විද්‍යාල ශිෂයන්ව පට්ට ගහමින් හිටියා.රටේ මිනිස්සුත් කිව්වේ මේ ළමයි ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටනවා කියලා.අපි එහෙම පාරට බැහලා කියන්න හදපු දේවල් කවුරුත් තේරුම්ගත්තේ නෑ.ඒත් උසස් පෙළ අවුළත් එක්ක රටේ ජනතාවට වෙන්න යන විනාශය ගැන යන්තම් හෝ අවධානයට ලක්වුණා කිව්වොත් මම නිවරදියි.ඒත් සීමිත පිරිසකට විතරයි.
මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩුව මේ හදන්නේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දාල ගමේ සිරිපාල අයියගෙ පුතාට කැම්පස් ගිහින් ඩිග්රිය අරන් දෙන්න කියලා.ඒත් සත්‍ය තියෙන්නේ ඊට වඩා ගොඩක් ඈතින්.මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම වෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල ටිකට ලංගමට(CTB) වුණ වැඩේ.(ඒක වෙන එක හොදයි කියන පිරිසකුත් ඉන්නවා.ඒ ගැන ඊළගට කතා කරමු)දැන් පාරේ යන බස් එකකින් මිනිස්සු වැඩිපුර නගින්න කැමති මොකටද? මිනිස්සු බලන්නේ ප්‍රයිවට් බස් එකකට නගින්න නේද?මොකද ඒක ලස්සනට තියෙනවා හොද සිංදුවක් අහගෙන ආතල් එකේ යන්න පුළුවන්.ඒත් සීටීබී එකකට නගින් කවුරුත් කැමති නෑ.ඒත් කට්ටිය නැතත් අද දුෂ්කර ගම්මානෙකට යන්න තියෙන්නේ සීටීබී එකක් විතරයි.ප්‍රයිවට් බස් නිතරම හිතන්නේ ලාබය විතරයි.ඒත් සීටීබී බස් සේවය ගැනත් හිතනවා.ස්කෝලෙ යන ළමයෙක්ට සීසන් එකක් හරි හම්බ වෙන්නේ සීටීබී එකෙන් විතරයි.ඒත් අද වෙනකොට සිටීබී එකේ කොන්දොස්තර කෙනෙකුටවත් පඩි ගෙවාගන්න බැරිවෙලා තියෙනවා.
හැබයි මේ තත්වය තුළ කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රයිවට් බස් තියෙන නිසා නිදහසේ ගමනක් බිමනක් වත් යන්න පුළුවන් කියලා.ඔව් ඒක සම්පූර්ණයෙන් ඇත්ත.මිනිස්සුන්ට මේ සීටීබී එකට වෙලා තියෙන දේ තේරෙන්නේ නැත්තේ එහෙමත් නැතිනම් ඒ ගැන තැකීමක් නැත්තේ ප්‍රයිවට් බස් වලයි සීටීබී වලයි දෙකේම එක සමාන ගාස්තුවක් අය කරන නිසා.ඒ නිසා මේ දෙකෙන් මොකක ගියත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ඒත් සීටීබී එකක වගේ රජයේ විශ්ව විද්‍යාලයක ගාස්තුවක් අය කරන්නේ නෑ.ඒ මේ රටේ කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ඇති කරපු නිසා.අපි දැන් හිතමු මෙහෙම තත්වයක් තුළ මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම කියලා.එතකොට ගමේ සිරිපාල අයියගෙ ළමයගෙ පුතාට මේකට යන්න පුළුවන් කියල හිතනවද?ඒත් ඒක එහෙම නෙවි.ප්‍රයිවට් බස් ලාභය පස්සේ දුවනවා වගේ මේ පෞද්ගලික විශ්ව විද්‍යාලත් දුවන්නේ ලාභය පස්සේ.ඒ නිසා සල්ලි තියෙන අයට පුළුවන් තමන්ගෙ දරුව පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දාල උගන්නන්න.ඒත් ඒක ගමේ සිරිපාල අයියට කරන්න පුළුවන් කියල හිතනවද? අඩුගානෙ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ඒ ඉගෙන ගන්න කාලය තුළ මාසෙට ළමයෙක්ට රුපියල් ලක්ෂ දෙකක් වත් යනවා.අද ලංකාවේ හැටියට එහෙම පවුල් කීයක් ඉන්නවද තමන්ගේ එක දරැවෙක් වෙනුවෙන් මාසෙකට ලක්ෂ දෙකක් වියදම් කරන්න පුළුවන්.එතකොට මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න කරන්න හදන්නේ ගමේ සිරිපාල අයියගෙ ළමයට යන්න නෙවෙයි කියල පැහැදිළියි.
මේ හදන්නේ මේ රටේ සල්ලිකාර පවුල් වල ළමයිට විශ්ව විද්‍යාලයක් හදල දෙන්න.ඒත් ඒක සාධාරණයි කියල කෙනෙක්ට හිතන්න පුළුවන්.ඒත් ඒ එක්කම අහන්න තව ප්‍රශ්න ටිකක් අපිට ඉතුරු වෙනවා.

හරි ටවුමේ හාමු මහත්තයගෙ ළමය ප්‍රයිවට් විශ්ව විද්‍යාලට යන කොට සල්ලි නැති නිසා ගමේ සිරිපාල අයියගෙ ළමය යන්නෙ රජයේ විශ්ව විද්‍යාලයකට.එතකොට පෞද්ගලික විශ්ව විද්‍යාල හරියට ප්‍රයිවට් බස් වගේ රජයේ විශ්ව විද්‍යාල සීටීබී වගේ.එහෙම නිගමනයකට එන්නේ හේතුවක් ඇතිව.මේ රටේ ආණ්ඩු හැමදාම හිතුවේ නිදහස් අධ්‍යාපනය රටකට බරක් කියල.අධ්‍යාපනය කියන්නේ රටකට මතු ආයෝජනයක් කියල හිතන්න මොළයක් ඔවුන්ට නෑ.ඒ නිසා හැමදාම කළේ රටේ අධ්‍යාපනය සදහා යන වියදම් අඩුකරන්න සැළසුම් ගහපු එක.ඒ නිසා රජයේ පාසල් වලයි වීශ්ව විද්‍යාල වලයි අනත්ත වත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.අද ළමයෙක් හොද ස්කෝලෙකට දාන්න කීයක් වියදම් කරන්න ඕනෙද?පෙළ පොත් ටික නිළ ඇදුම් ටික හරියට ලැබෙනවද?විභාගයක් හරියට කරනවද? විශ්වවිද්‍යාවල ළමයින්ට ඉන්න හොස්ටල් එකක් තියෙනවද හරියට.
?විෂයමාලා ටික අලුත් වෙනවද?උගන්වන්න ගුරුවරු ඉන්නවද?දේශනශාලා තියෙනවද?මේ වගේ ප්‍රශ්න ගොඩක් රජයේ අධ්‍යාපන පද්ධතියේ තියෙද්දි තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න හදන්නේ.මෙහෙම තත්වයක් තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම ගමන් රජයේ දැන් තියෙන අවධානය වත් ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ලැබෙන්නේ නෑ.එතකොට ඇමති සුදුබංඩාගේ පුතා යන්නේද පෞද්ගලික විශ්ව විද්‍යාලයටය.ඒ නිසා ගමේ සිරිපාල අයියගෙ ළමයා යන රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට හෙණ ගැහුවත් පාලකයන්ට ගාණක් නැත.එවිට රජයේ විශ්ව විද්‍යාල ගැන ප්‍රශ්නයක් ඇමතිවරයාට කිව් විට තම සුපරුදු හැකර කටින් අර අහවල් පෞද්ගලික විශ්වවිද්‍යාලයෙට දරුවා දාන්න යැයි කියනු ඇත.

අන්තිමට මේ රටේ තියෙන විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරියාට වත් රැකියාවක් දීමට නොහැකි තැන තව විශ්වවිද්‍යාල බිහි වූ පසු උපාධිධාරීන්ගේ ඉරණම කුමක් වනු ඇත්ද?දේශපාලන හයියහත්තිය ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන පියරු බබාල ටික ගමේ සිරිපාලගේ පුතාව පාලනය කරනු ඇත.

අනික් අතින් ගත් විට මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් තෝරාගන්නේ විභාග ප්‍රතිඵල මත නොව අදාළ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇති හැකියාව මතයි.එතකොට විශ්වවිද්‍යාලයට යාමට ලකුණු කිහිපයක් මදිවන සිරිපාල අයියාගෙ පුතාට යන්න තැනක් නැත.ඔහුට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යාමට මුදල් නැත අනික් අතින් අද වන විට බාහිර උපාධි පාඨමාලාද කප්පාදු කොට ඇති නිසා බාහිර උපාධියක් වත් කරගන්න විධියක් නැත.ඒ නිසා සිරිපාල අයියාගෙ පුතාට වන්නේ ගමේ පොල් කඩන්නය.සිරිපාල අයියාගෙ පුතාට වඩා අඩු ලකුණු අරගත් හාමුගෙ පුතා උපාධි කඩයකින් උපාධියක් අරගෙන සිරිපාල අයියාගෙ පුතා පාලනය කරනු ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹූ ව්ට රජයේ විශ්වවිද්‍යාල වලට යන්නේ ගමේ දුප්පත් සිරිපාල අයියාගේ පුතා වැනි අයයි.පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති නිසා රජයේ විශ්වවිද්‍යාලවලට ඇත්තේ කුඩම්මාගේ සැළකිළිය.මොන දුෂ්කරතාවය යටතේ ඉගෙන ගෙන උපාධිය ගත්තත් රජයේ විශ්වවිද්‍යාල වලින් පිට වන උපධිධාරියට රැකියාවක්ද නොමැත.ඒවාද ඇත්තේද පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පිටවන පියරු බබාලටය.දැනටත් නිසි වැටුපක් ලබා නොදෙන නිසා කලකිරී ඇති ගුරුවරු ඊළගට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹූ විට ඒවාට යනු ඇත.එවිට දැනට ඇති ගුරුහිගය දෙගුණ තෙගුණ වනු ඇත.එවිට රාජ්‍ය විශ්වවිද්‍යාලයට හා ඒවාට යන දුප්පතුන්ට බුදුසරණය.අන්තිමට වෙන්නේ ලංගමට වුණ දේය.හැමදාම කොට උඩය.

අපි මේවා කියන විට මේවට එරෙහිව උද්ඝෝෂණ කරන විට සමහර අයට හිතෙන්නේ අපි පිස්සු කෙළීනවා කියාය.අපි විශ්වවිද්‍යාල ආවේ නැති එවුන්ට ඊර්ෂියාවට කරන වැඩ කියාය.ඒත් පේන දේ ගැන නොව යතාර්ථය තේරුම් ගත හැකි සමාජයක් බිහිවන තුරු රටට බුදුසරණයි.

11 comments:

Mysty said...

නියම පෝස්ට් එක.අපිට ඩිග්‍රියක් අරගෙන රස්සාවක් ගන්න තව බොහොම පොඩි කාලයක් තියෙන්නෙ , අපිටත් පුළුවන් දැන් සද්ද නැතුව ඩිග්‍රිය අරගෙන කවදහරි අපේ ළමයිනුත් මේවාට දාලා අරුන් මෙවුන් කරන්න. අපේ ඒත් මේ රටේ ඉන්න කුහක මිනිස්සු හිතන්නෙ අපි ආත්මාර්ථකාමි හින්දා මේවා කරනවා කියලා. අපී ජේවීපී හින්දා මේවාට එරෙහිව අරගල කරනවා කියලා . පියර බබීලා විතරක් නෙවේ නේ මේවට කඩේ යන්නෙ ? සිරිපාලලගෙ පුත්තුත් අපි එයාලගෙ අයිතීන් වෙනුවෙන් කෑ ගහද්දි බකන් නිලාගෙන මේවා හොදයි කියනවා. මට නම් මෙයාලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//දැන් පාරේ යන බස් එකකින් මිනිස්සු වැඩිපුර නගින්න කැමති මොකටද? මිනිස්සු බලන්නේ ප්‍රයිවට් බස් එකකට නගින්න නේද?මොකද ඒක ලස්සනට තියෙනවා හොද සිංදුවක් අහගෙන ආතල් එකේ යන්න පුළුවන්.ඒත් සීටීබී එකකට නගින් කවුරුත් කැමති නෑ//

මොන බොරුද , ප්‍රයිවෙට් කාරයින්ගේ කන්කරච්චලේ, කොන්දගෙ බැනුම්, සෙනඟ පැටවිම , කොට කොට යාම වගේ දේවල් නිසා සිටිබි තියනව නම් මිනිස්සු ප්‍රව්යිවෙට් හොයාගෙන යන්නේ නැ .අවුල තියෙන්නෙ සිටිබි නැති එක

සිටිබිය පැත්තකින් තියල මේ කථාවට එමුකො ,

?විෂයමාලා ටික අලුත් වෙනවද?උගන්වන්න ගුරුවරු ඉන්නවද?දේශනශාලා තියෙනවද?

ඔය ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ , මේක නොමිලේ දෙන නිසා කියල තේරුම් ගන්න බැරිද , රජයකට කරන්න පුලුවන් සීමාවක් තියනව . ලිපිය ආරම්භයේදී අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන විතරයි කියල කපටි කමට ලේබල් ගහගන්නේ , ලංකාවේ හැර වෙන කිසිම තැනක පිනට උසස් අධ්‍යාපනයක් දෙන්නේ නැය කියල දන්න නිසා .උසස් පෙල වෙන කන් නිකන් උගන්වන එකත්, 20000 කට වැඩි සිසු පිරිසටක සම්පූර්නයෙන් නොමිලේ උගන්වන ගමන් තවත් දහස් ගාණකට තාක්ෂික විද්‍යාල හරහා නොමිලේ උගන්වන එකත් මහපොල වැනි ශිෂ්‍යත්ව ලබාදීමත් එක්ක ලංකාවේ රජය මේ ලෝකේ කවුරුත් නොකරන තරමේ දායකත්වයත් අධ්‍යාපනය වෙනුවෙන් දීල තියනව .

// ඒ ඉගෙන ගන්න කාලය තුළ මාසෙට ළමයෙක්ට රුපියල් ලක්ෂ දෙකක් වත් යනවා.අද ලංකාවේ හැටියට//

මේ කොහෙන් ගත්ත ගණන් ඉලක්කම්ද ? ලංකාවේ දැනට පෞද්ගලිකව උපාධි දෙන සමහර ආයතනවල මුලු උපාධියටම වැය වෙන්නේ ලක්ෂ 5ක් 6ක් .

රැකියා නැතිවෙලා තියෙන්නෙ පාඨමාලා අලුත් නොවුනු නිසා , අනික් එක විශ්ව විද්‍යාල සිසුන් සමහරකගේ හරක් වැඩ නිසා සමාජයේ ඇතිවෙලා තියන විශ්වාසය . දේශපාලන අදහස් වලින් පිරුණ , වෙනස් වීම් වලට අකමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙනුවට . එහෙම නොවෙන පෞද්ගලික ආයතනයක ඉගෙන ගත්ත එකෙක්ව ගන්න සමහර පෞද්ගලික ආයතන කැමතියි . එහෙම තත්වයක් ඇති කරගත්තට වග කියන්න ඕනි ශිෂ්‍ය ප්‍රජාවම මිසක් රජය නෙවෙයි

සමනලයා said...

@බණ්ඩක්කා ..කොමන්ට් එකට තෑන්ක්ස්.ලංකාවේ මිනිස්සුන්ට යමක් තේරෙන්න ඒ දෙය තමන්ටම වෙන්න ඕන.බණ්ඩක්කා කිව්ව කතාව ඇත්ත අපිට දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මට කමක් නෑ.අපි තව අවුරුද්දකින් දෙකකින් ඩිග්රිය අරගෙන යනවා ඒත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවන්ට වෙන්න යන දේ ගැන දුකයි

සමනලයා said...

@ බුවා... මචං බුවා මම සීටීබී එක උදාහරණයට ගත්තේ මට තිබුන අත්දැකීම් එක්ක මම දන්නේ නෑ උඹලගෙ පැත්තේ කොහමද කියල ඒත් අපේ පැත්තේ නම් සීටීබී එකකට මිනිස්සු නගින්නේ ප්‍රයිවට් එකක් නැත්නම්.අනික දැන් උඹම පිළිගන්නවා සීටීබී දැන් නෑ කියල.ඇයි සීටීබී නැත්තේ?ඇයි සීටීබී දිගින් දිගටම පාඩු ලබන්නේ.මිනිස්සුන්ගේ වැරද්දින්ද?නෑ.ආණ්ඩුවේ වැරද්දින්.හරියට කළමනාකරණය කරල පාලනය ගෙනියන්න බැරි නිසා.ඒ නිසා අද වෙන කොට සීටීබී එකේ සේවකයන්ගේ පඩි ටික වත් ගෙවා ගන්න බැරිවෙලා තියෙන්නේ.අන්න ඒ දේ තමයි කවද හරි රජයේ විශ්ව විද්‍යාල ටිකට වෙන්නේ

අද ලෝකයේ පිළිගත්ත නිර්ණායකය තමයි රටක අධ්‍යාපනය සදහා දළ ජාතික ආදායමෙන් 6% ක් වෙන් කරන්න ඕනෙ ඒත් ලංකාවේ වැය කරන්නේ 2%යි.අපිට වැඩිය දුප්පත් ඉතියෝපියාවෙත් 6% වැය කරනවා.බංගලාදේශෙත් අපිට වැඩිය අධ්‍යාපනේ වෙනුවෙන් වැය කරනවා.එහෙම රටක තමයි අපි ඉන්නේ.ගිය සැරේ ආචාර්යවරුන්ගේ ඉල්ලීමක් වුණේ ජාතික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න කියලා.ඒත් ඒක එහෙම වුණේ නෑ.ඒ වුනාට මිහින් ලංකා එකට කාබාසිනියා කරන්න,හෙජින් වලින් කෝටි ගණන් පාඩුකරන්න,ඇමතිවරුන්ට රජ සැප විදින්න ඕන තරම් සල්ලි තියෙනවා.ඔය විනාශ කරන සල්ලි වලින් අපේ රටේ අධ්‍යාපනය කොච්චර හොද තැනකට ගේන්න තිබුණද?
අනික අපි වියදම් කරන්න කියන්නේ මහින්දගේ බූදලේ නෙවෙයි නේ.ආණ්ඩුවේ සල්ලි කියන්නේ මහින්ද‍ගේ බුදලේ නෙවෙයි.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නේ අටේ අහිංසක මිනිස්සු ගන්න සබන් කැටේට,හාල් කිලෝ එකට ගහන බදු මුදල්.ඒ නිසා ඒ මිනිස්සුන්ගේ දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් සපයන එක ආණ්ඩුවේ යුතුකමක්.එහෙම නැතුව බදු මුදල් ගන්නේ මිහින් ලංකා එකට විනාශ කරල ජෝගි නටන්න නෙවි.මචං බුවා මට පේන්නේ උඹ මේ රටේ වෙන දේවල් ගැන මුකුත් නොදන්න අයාලේ යන බුවෙක්.දන්න දෙයක්
කතා කරපං බං.

ලක්ෂ 4 න් 5 න් උපාධි ගන්න පුළුවන් කිව්වට උඔ දන්නවද මාලඹේ‍ වෛද්‍ය උපාධිය කීයද කියලා ලක්ෂ 65යි.උඹ දන්නේ නැත්නම් හොයල බලපං.එතකොට ඒක ඒ අවුරුදු ටිකට යන මාස 48 බෙදල බලපං කීයක් යනවද කියලා.එතකොට නේවාසික පහසුකම් පෞද්ගලික විශ්ව විද්‍යාෙල් නොමිලේ හම්බ වෙන්නේ නෑ නේ.එවට යන වියදමත් එක්ක පොඩ්ඩක් ගණක් හදල බලපං

අනික අපිද පාඨමාලා අලුත්වැඩියා කරන්න එපා කිව්වේ කවුද?අපි කොච්චරවත් කියල තියෙනවා මේ පරණ සිලබස් වෙනස් කරන්න කියලා.ඒත ඒක කරන්නේ නැති එක අපේ වැඩක්ද?අපිටද වෙනස් කරන්න කියන්නේ?අනික විශ්ව විද්‍යාල සිසුන් ගැන වැරදි වැටහීම් ඇති කරන්නේ ආණ්ඩුව.කැම්පස් ආව එකෙක් නම් ආණ්ඩුව මාධ්‍ය යොදාගෙන මවන ප්‍රතිරෑපෙයි ඇත්ත තත්වයයි දන්නවා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සිටිබි එකට කෙල වීමෙ වගකීමෙන් භාගයක් තියෙන්නේ , වැඩ කරන මිනිස්සු අතේ , මම මෙතනට ආවේ රයිගම කියල බ්ලොග් එකකින් අන්න එතන කතන්දරේ ලස්සනට තියනව නැවත රිපිට් කරන්න අවශ්‍ය නැ

රටේ දේශපාලන තත්වය ගැන දන්නවද නොදන්නවද කියන එක මගේ බ්ලොග් එක බලපු මිනිස්සු දන්නව , තමන්ට බලපාන කාරනා ගැන කථා කරන්න විතරක් නෙවෙයි ලංකාවේ දේශපාලන තත්වය ගැන කථ කිරිම තමයි මම වැඩිවශයෙන්ම කරන්නේ . මේ ගැන කථා කරන්න ගිය හැම බ්ලොග් එකකදිම වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ගෙන් දැක්ක දෙයක් තමයි දන්න දෙයක් කථා කරහන් කියන දැනමුතු පාට් එක . ඔන්න ඔය මහ ලොකු පොර මානසිකත්ව්ය තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ තියන ලොකුම ගැටලුව

අධ්‍යාපනයට වෙන් කරන මුදල මදි වෙන්න පුලුවන් නමුත් අමතක කරන්න එපා රටේ ප්‍රමානයට වඩා විශාල ආරක්ෂක වියදුමකුත් දරන්න වෙලා තියනව කියන එක . හරි එතනදි රජය වැරදියිම කියමුකො . එහෙම නම් අධ්‍යාපනයට ඔය කියන ප්‍රතිශතය වෙන්කලාට පස්සෙ පුද්ගලික විශ්ව විද්‍යාල දැමීම ඔබල අනුමත කරනවද ?
රටේ දූෂනය කියන එක මේකත් එක්ක පටලවා ගන්න එපා , දූශනය නොතිබුනා නම් අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි හැම එකෙන්ම ලංකාව ගොඩ . බදු මුදල් ගෙවනවාය කියල උසස් අධ්‍යාපනය නිකන් දෙන්න ඕනි කමක් නැ , ඔය කියන බංග්ලාදේශයෙත් පෞද්ගලික උසස් අධ්යාපනය තියනව .රාජ්‍ය පෞද්ලික බේදයක් නැතුව ලෝකේ අනික් රටවල මිනිස්සු ඉගෙන ගන්නේ සල්ලි දීල , බදුත් ගෙවනව . බදු ගෙවීම පුර වැසියාගේ වගකීම බදු ගෙවනවාය කියල පිනට හැමදේම දෙන්න බැ

ඔබතුමාල හැම එකටම අල්ල ගන්නේ ඔය මාලබේ වෛද්ය විද්‍යාලය . ඔච්චරද රටේ තියෙන්නේ , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශය තියන ආයතනම කීයක් තියනවද , ඔය එක මඟුලක් අල්ලන් කියවන්නේ .ඔයිට වඩා කොච්චර ලමයි ගානක් අරවයේ ඉගෙන ගන්නවද . එකක ගානද බහුතරයක් ආයතනවල ගානද සැලකිය යුත්තේ

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගෙ ක්‍රිය කලාපය මාධ්ය වලින් බලල නෙවෙයි අර මම කිව්ව ආකරයේ තීරණ ගන්නේ , ඒ මිනිස්සුන්ගේ අත්දැකීමෙන් . අනික ඔය කාඩ් එක විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයො ගහගෙන තියෙන්නෙ මහින්ද ආවට පස්සෙ නෙවෙයි ඒ කාලේ ඉඳන් කරපු වැඩ නිසා . අනික රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්න ගමන් පාරවල් බ්ලොක් කරගෙන උත්ඝෝෂන කරන්න , පෙලපාලි යන්න ගියාම මොන මිනිහටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ගැන කල කිරෙන්නේ නැත්තේ . මතක තියාගන්න නිදහස් අධ්‍යාපනය මේ රටේ මිනිස්සු සල්ලි වලින් (ඔය කියන සල්ලි කාරයෝ තමයි වැඩි බදු මුදලක් ගෙවන්නේ ) දක්ෂ සිසුන් පිරිසකට ලැබුනු වරප්‍රසාදයක් විතරයි . ඒක අයිතියක් කියල හිතාන රටේ අනික් ළමයින්ගේ උසස් අධ්‍යාපනය වලක්වන්න , ඒ ලමයින්ගේ දෙමව්පියන්ගේ බදුමුදලත් යෙදවිලා ඉගෙන ගන්න ඔහෙල තියන අයිතිය මොකක්ද

සමනලයා said...

@ බවා මේක බලන්න http://flames-of-mind.blogspot.com

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බැලුවා යාලුවා , තවත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය අදෝනාවක් විතරයි ,කලා උපාධි ප්‍රමානය රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් පවා අඩු කරන්න යෝජනා කරල තියෙත්දි ලක්ෂ 15කට දෙන්න යන එක විශ්වාස කරන්න බැ . ඊලඟට වර්ථමානයේ ඉංජිනේරු උපාධි තියනව ලක්ෂ 5-10 අතර , තවත් සමහරක් 10-20 අතර .ලක්ෂ 40ක් යන්නේ නැ . රාජ්‍ය සරසවි වලට නිසි පහසුකම් දෙනව නම් ඔබතුමාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එකඟද ? එකඟ නම් ඇයි ඒක රටට හෝ එ.ස් බීට කියන්නේ නැත්තේ . ඔබතුමාල රටට කියනව නම් අපිට අවශ්‍ය කරන පහසුකම් දීල , ආචාර්ය වරුන්ට පෞද්ගලික අංශයෙන් දෙන වැටුප් ප්‍රමාණම දීල ඉවරවෙලා පෞද්ගලික ඒවා දාගත්තට කමක් නැය කියල ජනතාව ඔබලත් එක්ක ඉඳිවි . එහෙම නැතුව ඊයෙ කලා වගේ මුලු කොලඹම බ්ලොක් කරගෙන මිනිස්සුන්ගෙ වැඩ පාලු කරගෙන නටපු සමයම් නටන්න ගත්තාම මිනිස්සුන්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ගැන ඇතිවෙන්න කලකිරීමක් . ශිෂ්‍ය රගල කියන්නේ වටිනා ආයුධයක් , හැබැයි ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව ඒක අනවශ්ය ප්‍රමාණයට් පාවිච්චි කරල දැන් හොඳටම මොට වෙලා

සමනලයා said...

@බුවා එහෙම රාජ්‍ය සරසවි වලට අවශ්‍ය පහසුකම් මේ වනතෙක් ලැබිලා නෑ.එහෙම පොරොන්දුවක් අරගෙන විශ්වාස කරන්න පුළුවන් දේශපාලනයක් නෙවි අපේ රටේ තියෙන්නේ.ඒ නිසා කාටද විශ්වාස කරන්න පුළුවන් ඒ විදියට අවශ්‍ය පහසුකම් ඉදිරියේදි ලැබෙයි කියල.පාරවල් බ්ලොක් කරන්නේ නැතිව උද්ඝෝෂණ කරන්න බෑ නේ.භාවනා කරනවා නෙවි නේ.අනික අපිට පාරට බහින්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ වැරදි නිසා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දේශපාලකයන්ට කියන්න බැරි නම් රටට කියපල්ලකො අපි රාජ්‍ය විශ්ව විද්‍යාල වලට පහසුකම් දෙනව නම් පෞද්ගලික ඒවට විරුද්ධ නැ කියල . එහෙම නොකර නිදහස් අධ්‍යාපනයේ මල ගම කිය කිය විලාප ගහන එකනේ වැඩේ . අනික් උන් එපා ඔබතුමාගේ පෞද්ගලික අදහස කියන්න මේ ගැන ?

පාරවල් වහගෙන උද්ඝෝෂනය කරන්න ඕනි දේවල් තියනව . ඊයේ ජපුරේ ඉන් මුලු කොලඹම බ්ලොක් කලේ මොකක්ද මන්ද පිලිමයක් කැඩුව කියල . ඕකට අරලිය ගහ මන්දිරේට යන්න ඔනි නැනේ , විශ්ව විද්‍යාලය ඉස්සරහ විරෝධය පල කරන්න තිබුනනේ . ඔහොම ඒවයින් වෙන්නේ ජනතාව විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ගැන කල කිරෙන එක විතරයි

සමනලයා said...

@බුවා. අපිට රටට කියන්න මාධ්‍ය නෑ.පත්තර නෑ.අපි කියන දෙයක් පත්තරේක දාන්නේ පිකට් එකක් කළොත් විතරයි.නැත්නම් පත්තර කාරයෙක් පැත්ත පළාතක එන්නේ නෑ.හැමදාම රටට යන්නේ ආණ්ඩුවේ මතය විතරයි.විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට තියෙන ප්‍රශ්න ගැන කවුරුත් හොයන්නේ නෑ.අපිත් අසයි නිදහසේ ඉගෙන ගන්න.ඒත් අපිට එහෙම නිදහසේ ඉන්න දෙන්නේ නෑ.පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕනෙ නිසා එස්.බී ආව දවසේ ඉදල කළේ බොරු චෝදනා දාල ළමයි හිර කරපු එක.මම හොදටම දන්න කීප දෙනෙක් හිරේ ගියා.මම පෞද්ගලිකවම දන්නවා ඒ අය එහෙම වැරදි කළේ නෑ කියල.ඔය වගේ දේවල් දකින කොට තමයි ඉතින් ඩිග්රිය ගියත් කමක් නෑ කියල පාරට බහින්න හිතෙන්නේ.ඔය කොයි කාටත් වඩා ඩිග්රියේ වටිනාකම දන්නේ අපි.අපි තමයි දන්නේ උසස් පෙළ පාස් වෙන්න කාපු කට්ට.ඒත මෙහෙට ආව ගමන් අපිට සලකන්නේ රාජ්‍ය ද්‍රෝහියෝ වගේ.අපේ ප්‍රශ්න වලට කවුරුත් කන් දෙන්නේ නෑ.එහෙම වුණාම පාරට බහින එක සාධාරණයි.එතකොට කූඩ ප්‍රශ්නෙදි,විශ්‍රාම වැටුප් ප්‍රශ්නෙදි,සුපිරි පාසල් දසදහසෙ ප්‍රශ්නෙදි මිනිස්සු පාරට බැහපු එක වැරදිද?
මිනිස්සුන්ට ප්‍රශ්න ආවම පාරට බහින්නේ ඒව රටට කියන්න වෙන විදියක් නැති නිසා.
ජපුරේ උන් කොළඔට ගියේ ඔය උපකුලපති පත් කරේ ස්මාරකයට බෝම්බ ගැහුවේ ආණ්ඩුව නිසා.මේ රටේ ජනාධිපතිට ඕන අය තමයි උපකුලපතිවෙන්නේ ඒ නිසා මේ රටේ මහ එවුන්ට කියන්නේ නැතිව වෙන කාට කියන්නද මේ අසාධාරණය.
අනික ඔයාට පුළුවන්නම් විශ්වවිද්‍යාලයකට ගිහින් ළමයිගෙ ප්‍රශ්න වලට පොඩ්ඩක් සංවේදී වෙලා බලන්න හැමදාම බැන බැන ඉන්නේ නැතිව

Anonymous said...

වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන් (

ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි. නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner